තවත් විස්තර

වෙබ් අඩවියේ අන්තර්ගතය සංවිධානයේ සමාලෝචනය සඳහා බලා සිටී.

ආපදා සූදානම

නායයෑම් පෙරහුරු වැඩසටහන - බටහෙලයාය

2026 ඔක්තෝබර් 6 · බටහෙලයාය, වැල්ලවාය

දිනය
2026 ඔක්තෝබර් 6
ස්ථානය
බටහෙලයාය, වැල්ලවාය, මොණරාගල දිස්ත්‍රික්කය
මාතෘකාව
ආපදා සූදානම
ඡායාරූප සහ වීඩියෝ
12 ඡායාරූප · 2 වීඩියෝ

මෙම වැඩසටහන ගැන

2026 වසරේ ආරම්භ වීමට නියමිත ඊසාන දිග මෝසම් වැසි හා එල්නිනෝ තත්ත්වය හමුවේ සිදුවිය හැකි ආපදා අවම කළ හැකි, අප හඳුනාගත් එක් පැතිකඩක් වනුයේ අධික වැසි හමුවේ බහුලවම සිදුවන නායයෑම්ය. ඒ අරමුණ උදෙසා, නායයෑමට පෙර පූර්ව සූදානම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026/10/06 දින මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය කොට්ඨාසයේ බටහෙලයාය ග්‍රාමයේදී සාර්ථකව පැවැත්විණි.

මොණරාගල දිස්ත්‍රික් ලේකම්තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, ආපදා කළමනාකරණ අධ්‍යක්ෂතුමාගේ මෙහෙයවීම හා මගපෙන්වීම මත එම කාර්ය මණ්ඩලය, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු නිලධාරීන්, වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිතුමා සහ වැල්ලවාය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ අනර්ඝ සහයෝගයෙන් මෙය සාර්ථක නිමාවකට පත් විය.

පදිංචිකරුවන්ට "වැසි මිනුම්" දඬු හරහා වැසි ජලය පිරීම අනුව නායයෑමේ පූර්ව ලක්ෂණ හඳුනා ගැනීම සහ අත්‍යවශ්‍ය ලියකියවිලි, පිඟානක්, කෝප්පයක් සහ රෝහලෙන් නිකුත් කළ බෙහෙත් වට්ටෝරු පොත ඇසුරුම් කළ කුඩා හදිසි බෑගයක් සකස් කිරීම පිළිබඳ පෙර පුහුණුවක් ලබා දුනි. බටහෙලයාය ප්‍රජාශාලා භූමිය ආපදා සුරක්ෂිත මධ්‍යස්ථානය ලෙස හඳුන්වා දෙමින්, ජනතාව රැස් කිරීම, ලියාපදිංචි කිරීම, අනතුරු සංඥා නිකුත් කිරීම සහ ශබ්දවාහිනී මගින් දැනුවත් කිරීම පුහුණු කෙරිණි. හදිසි අවස්ථාවකදී සුරක්ෂිත මධ්‍යස්ථානයට ළඟා විය යුත්තේ කෙසේද යන්නද පැහැදිලිව අවධාරණය කෙරිණි.

2011 වසරේදී මෙම ගම්මානයට ඉහළින් ඇති කඳු පන්තියෙන් ගැලවී ආ විශාල ගල් පර්වතයක් පහළ නිවාස වෙත පෙරළීමෙන් නිවාස හානි වීම් සහ අවතැන් වීම් සිදු වූ බවට සාක්ෂි තවමත් ඉතිරිව ඇත.

ආපදාවකින් පසු සුරක්ෂිත මධ්‍යස්ථානවල ජීවන රටාව, පිරිසිදුකම සහ පිළිවෙළ පිළිබඳවද දැනුවත් කෙරිණි. ඉන්පසු, සපයන ලද වියළි සලාක මලු භාවිතයෙන් එහිදීම පිළියෙල කළ දිවා ආහාරය කුඩා, වැඩිහිටි, කාන්තා සියලු දෙනාගේ සහයෝගයෙන් සතුටින් භුක්ති විඳින ලදී. නේචර් වීව් ෆවුන්ඩේෂන් සෘජුවම මැදිහත් වී සම්බන්ධීකරණය සහ අනුග්‍රහය ලබා දුනි.

මෙම පෙරහුරුවේදී ජනතාව නිවස හැර යාමට පසුබට වන හේතූන්ද මතු විය: නිවාස ආශ්‍රිතව ඇති කුකුළන්, ගවයන් සහ සුරතල් සතුන් තනිකර යාමේ දෙගිඩියාව; "මැරෙනවනම් මැරෙයි, මම ඉන්නවා" යන මුරණ්ඩු සිතුවිලි; සහ හිස් නිවාස සොරුන්ට ගොදුරු වේ යැයි ඇති බිය. සියල්ල ඉතිරි වුවද ජීවිතය නැති වුවහොත් එයින් පලක් නැති බව නිලධාරීන් කරුණාවෙන් පෙන්වා දුන්හ. පළමුව ජීවිතය බේරා ගන්න — නැති වූ සියල්ල නැවත ලබා ගත හැකිය.

ඡායාරූප සහ වීඩියෝ

12 ඡායාරූප · 2 වීඩියෝ